Wednesday, June 10, 2015

ප්‍රතිරෝධක - Resistors ( දෙවන කොටස - Part 2 )

ප්‍රතිරෝධ  පිළිබඳ ලිපි පෙළේ දෙවන ලිපියයි මේ... ස්ථීර ප්‍රතිරෝධ ගැන කලින් ලිපියෙන් කතා කල නිසා දැන් අපි විචල්‍ය ප්‍රතිරෝධ ගැන සොයා බලමු.
විචල්‍ය ප්‍රතිරෝධ  (variable resistor)


     ප්‍රතිරෝධයේ අගය වෙනස් කල හැකි ප්‍රතිරෝධ විචල්‍ය ප්‍රතිරෝධ ලෙස හැඳින් වෙයි. මෙහිදී අපට වෙළඳපොලෙන් ලබා ගත හැකි විචල්‍ය ප්‍රතිරෝධ ආකාර දෙකකි.
1.විභව මාන වර්ගය  (potentiometer type)
         

උපකරණය ක්‍රයාත්මක කරන්නට විභවය අඩු වැඩි කිරීම සදහා භාවිතා කරයි. ගුවන් විදුලි යන්ත්‍ර වල පරිමා පාලක සහ welding plant වල ධාරා පාලක වල දැකගත හැකිය.
                
2.පෙර සැකසුම් වර්ගය  (preset type)


පරිපථයක් සැකසීමේදී අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය සකස් කරගැනීමට මෙම විචල්‍ය ප්‍රතිරෝධ භාවිතා කරයි.
වර්ණ තීරු මුද්‍රිත ප්‍රතිරෝධයක අගය කියවීම

බොහෝ සාමාන්‍ය භාවිතයේ ඇති ප්‍රතිරෝධක වල අගය ඉලක්කමෙන් සටහන් නොකර වර්ණ තීරු මගින් සදහන් කොට ඇත්තේ  එහි අගය මුද්‍රණය කිරීමේ අපහසු තාවය නිසාය. මෙම ප්‍රතිරෝධක වල අගය සේව්මේදී පළමු වර්ණයට අදාල අගය හා දෙවන වර්ණයට අදාල අගය එලෙසින්ම ලියා තෙවන වර්ණයට අදාල අගයට සමාන බින්දු සංඛ්‍යාව අගට යෙදිය යුතුය. මෙහිදී ලැබෙන අගය ඔම්ස් වලින් වන අතර එම අගය දාහට වැඩිනම් එය දාහෙන් බෙදා කිලෝ ඔම්ස් වලින්ද එයෙත් දහසට වැඩිනම් නැවත එය දාහෙන් බෙදා මෙගා ඔම්ස් වලින් ලබාගත හැක. එක් එක් වර්ණයන්ට අදාල අගයන් පහත රූපයේ පරිදි දත්ත වගු ඇසුරු කර ගනිමින් සොයා ගත හැක. මෙම අගයන් මතක තබා ගැනීම මගින් භාවිතය වඩාත් පහසු වේ. 

  උදාහරණයක් ලෙසින් පිළිවෙලින් දුඹුරු , කළු, රතු, රන්  ලෙසින් වර්ණ සටහන් ප්‍රතිරෝධයක් සලකමු.
දුඹුරු = 1
කළු = 0
රතු = 100
රන් = ±5%
                    එනම් ප්‍රතිරෝධයේ  අගය =  10  × 100 = 1000Ω
  වේ. නමුත් මෙහි වර්ණ තීරු හතරකින් සමන්විත නිසා එම හතරවන වර්ණය මගින් එහි සහනතා අගය (Tolerance) කියවේ. එනම් මෙහි ඇති වර්ණය රන් වන   නිසා මෙම ප්‍රතිරෝධ අගයෙන් ±5% ක අගයක් සොයා ගත යුතුයි. 
1000 × 5% = ±50
  එබැවින් සත්‍ය වශයෙන් ම මෙහි  ප්‍රතිරෝධ අගය 950Ω - 1050Ω ත් අතර පිහිටයි.  නමුත් සාමාන්‍ය භාවිතයේ ප්‍රතිරෝධයේ අගය ලෙස සලකනු ලබන්නේ සහනතා අගය හැර අනෙක් අගයයි.
               ඔයාලට දැන ගන්න මම  Color code එක මතක තියා ගන්න කෙටි ක්‍රමයක් කියන්නම්කෝ.
"කළු දුම්බරේ රතු තැඹිලි කඩන කොල්ලෝ නිවන් දකින්නේ අළුයම සුදු පාටටයි" කියන වාක්‍යයේ මුල් අකුරු වලින් color code එක (කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අළු, සුදු) කියවෙනවා. මේකෙ පිළිවෙලට අංක ටික 0 සිට ලියා ගත්තහම පහසුවෙන්ම 4 band  color code එක ඔයාලට මතක තියා ගන්න පුළුනි. මීට අමතරව සහනතා අගයන් රන් - ±5% ලෙසත්  රිදී - ±10%  ලෙසත් මතක තබා ගන්න. ඔයාලත් ප්‍රතිරෝධයක් අරන් අගය කියවන්න පුලුවන්ද බලන්නකෝ.

මීළඟ ලිපියෙන් SMD Resistor යක අගය සොයන ආකාරය කතා කරමු.

1 comment:

  1. කඳු රට තැඹිලි කඩන කොට නින්ද අපට සුවයි :D

    ReplyDelete